Wednesday, August 21, 2019

ඔරලෝසු වල

අද අපි ඔබට කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ කරවනැල්ල නගරයට ආසන්නයේ පිහිටා ඇති ස්වභාවික ජල තටාක අංගනයක් ගැනයි.
මෙය ඔරලෝසු වල නමින් හදුන්වයි. ඔරලෝසු බට්ටා සහිත ඔරලෝසුවක  හැඩයක් බැලූ බැල්මට පෙනෙන නිසා මේ නම ලැබෙන්නට ඇති.
මෙම ස්ථානයට ළගා විය හැකි මාර්ග තුනකි. 
අවිස්සාවේල්ල  සිට පැමිණෙන්නෙකුට දෙහිඕවිට පසු කර කරවනැල්ලට පැමිණිය හැක. 
කෑගල්ල දෙසින් පැමිණෙන්නෙකුට ගලිගමුව, කොටියාකුඹුර පසු කර කරවනැල්ලට පැමිණිය හැක.
කරවනැල්ලේ සිට යටියන්තොට දෙසට 4km පමණ ගිය විට වම් පසින් කිතුලහේන පාර හමු වේ.
නාවලපිටිය දෙසින් පැමිණෙන්නෙකුට කිතුල්ගල, යටියන්තොට පසු කර 3km පමණ හැටන්-කොළඹ පාරේ ගිය පසු දකුණු පසින් කිතුලහේන පාරෙන් මෙම ස්ථානයට ළගා විය හැක.
කිතුලහේන පාරේ 1km පමණ ගිය විට  මෙම ස්වභාවිකව ජල තටාක අංගනයට ළගා වීමට පුලුවන්.
මෙය ජල තටාක කිහිපයකින් හා කුඩා දියඇලි  කිහිපයකින් සමන්විත සොබාදහමේ අපූර්ව නිර්මාණයකි . කන්දේ ඉහළ උල්පත් වලින් ආරම්භ වී  සුපිරිසිදු ජලය රැගෙන කැළණි ගග වෙත ගලා බසියි.
අවට පරිසරය ද දුටුවන්ගේ ගත සිත වශීකරවන සුන්දර දසුන් මවයි. විශාල ගල් තලාවක් පාමුල පිහිටා ඇති නිසා සෑහෙන පිරිසකට වුවද නිස්කලංව විනෝද වීමට පුලුවන්.
ගල් තටාක කිහිපයකින් සමන්විත මෙහි ඉහළ පවතින තටාක වල ගැඹුර අඩි හතරට වඩා අඩුයි. පහළ තටාකය ඉතා ගැඹුරු බව ප්‍රදේශවාසීන් පවසයි.
ඔරලෝසු වලට නාන්න එනවානම් පොලිතීන් ඇතුළු (විශේෂයෙන් නොදිරන) ද්‍රව්‍ය සියල්ලම ආපසු ගෙන යන්න අමතක කරන්න එපා. ඉතා ඝෝෂාකාරීව ශබ්ද නගමින් විනෝද වීමෙන් වළකින්න. අශෝභන ලෙස හැසිරීමෙන්ද වළකින්න.