Wednesday, September 11, 2019

මාහල්ල | Mahalla

අද අපි ඔබට කියන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල  නගරයට ආසන්නයේ පිහිටා ඇති ස්වභාවික ජල තටාක අංගනයක් ගැනයි.

මෙය මාහල්ල ග්‍රාමයේ පිහිටා තිබේ.

මෙම ස්ථානයට ළගා විය හැකි මාර්ග තුනකි. 
අවිස්සාවේල්ල  සිට පැමිණෙන්නෙකුට දෙහිඕවිට, කරවනැල්ල පසු කර රුවන්වැල්ල ට පැමිණිය හැක. 
කෑගල්ල දෙසින් පැමිණෙන්නෙකුට ගලිගමුව, කොටියාකුඹුර පසු කර රුවන්වැල්ල ට පැමිණිය හැක. ( කෑගල්ල - අවිස්සාවේල්ල පාරෙන්) 

නිට්ටඹුව දෙසින් පැමිණෙන්නෙකුට ඌරාපොල,  ගෝනගල්දෙණිය පසු කර නිට්ටඹුව-රුවන්වැල්ල පාරෙන් මෙම ස්ථානයට ළගා විය හැක.

එකේ කණුවෙන් දන්නෝරුව/ මාහල්ල පාරට හරවා හමුවන පළමු තුන්මං හන්දියෙන් වමට  (මාහල්ල ) පාරට හැරවිය යුතුයි.

මාහල්ල පාරේ දිගට ගිය විට ඊළඟට හමුවන තුන්මං හන්දියෙන් දකුණට හරවා ගමන් කළ පසු මෙම ස්වභාවිකව ජල තටාක අංගනයට ළගා වීමට පුලුවන්.

මෙය ජල තටාක කිහිපයකින් හා කුඩා දියඇලි  කිහිපයකින් සමන්විත සොබාදහමේ සුන්දර නිර්මාණයකි . කන්දේ ඉහළ උල්පත්  වලින් ආරම්භ වී සුපිරිසිදු ජලය රැගෙන ගලා බසින මෙම ඇළ තවත් මෙවැනිම අපූර්ව ජල තටාක රාශියකටම හිමිකම් කියයි.


අවට පරිසරය ද දුටුවන්ගේ ගත සිත වශීකරවන සුන්දර දසුන්  මවයි. විශාල ගල් තලාවක් පාමුල පිහිටා ඇති නිසා සෑහෙන පිරිසකට වුවද නිස්කලංව විනෝද වීමට පුලුවන්.

තටාක කිහිපයකින් සමන්විත මෙහි පවතින තටාක වල ගැඹුර අඩි හතරට වඩා අඩුයි. 


රැගෙන එන පොලිතීන් ඇතුළු (විශේෂයෙන් නොදිරන) ද්‍රව්‍ය සියල්ලම ආපසු ගෙන යන්න අමතක කරන්න එපා. ඉතා ඝෝෂාකාරීව ශබ්ද නගමින් විනෝද වීමෙන් වළකින්න.




Sunday, September 1, 2019

දොඩන්වල කැටේ (දොඩන්වල, මහනුවර)

 මහනුවර නගරයට ආසන්නයේ දොඩන්වල පිහිටා ඇති කැටේ ඉතා සුන්දර ස්ථානයක්. මහවැලි ගඟේ විශේෂිතවූ පිහිටීමක් නිසා දූපත් කිහිපයක් ද මෙහි දක්නට ලැබේ. ගඟ ඔස්සේ මෙම දූපත් වෙතට යා හැකිය.
ගම්වාසීන් අතර ප්‍රචලිත නාන තැනක් වන දොඩන්වල කැටේ යහළුවන් සමග විනෝද වීමට කදිමයි.

කොළඹ සිට පැමිණෙන විට ගන්නෝරුව කෘෂි පර්යේෂණ ආයතනය පසු කර ගැටඹේ පාලමට කලින් හල්ලොළුව පාරට(වමට) හැරවිය යුතුයි. පාරේ ටික දුරක් ගමන් කරන විට පාරේ දකුණු පසින් දොඩන්වල පාලම හමු වේ.

දොඩන්වල පාලම හරහා ගොස් දකුණට හැරවිය යුතුයි. පසුව හමුවුණ දෙවන රාජසිංහ මාවත ( පේරාදෙණිය පාර)ට හැරවිය යුතුයි. මෙම පාර අපි ගමන් ගන්නා මාර්ගය ට දකුණු පසින් පිහිටයි.
දෙවන රාජසිංහ මාවතේ 100m පමණ ගියවිට දෙවන වංගුවේ දකුණු පස ගඟට බැසීමට අඩි පාරක් පවතී. වාහන පාරේ සුදුසු තැනක නවතා මෙම අඩි පාර ඔස්සේ දොඩන්වල කැටේ වෙත ළගා විය හැක.
අපි යන දවස් වල වැස්ස වැඩි නිසා ගඟ  බොර වී, වතුර පාරද සැර වී තිබුණා. ඒ නිසා නාන්නවත් දූපත් වලට යන්නවත් අපිට බැරිවුණා. දොඩන්වල කැටේ ට නාන්න එනවා නම් ගෙන එන පොලිතීන් ඇතුළු (විශේෂයෙන් නොදිරන) ද්‍රව්‍ය සියල්ලම ආපසු ගෙන යන්න අමතක කරන්න එපා.

මෙම ස්ථානය ගැන අපි කරපු වීඩියෝ එක බලන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://youtu.be/5FyNc04dFeg